රඹුටන් වගාව

උද්භිද විද්‍යාත්මක නාමය - නෙ පේ ලියුම් ලැපෑසියම් (Nephelium lappaceum)
කුලය - සැපින්ඩේසියේ (Sapindaceae)


නිර්දේශිත ප්‍රභේද
මල්වාන ස්පෙෂල්
  • ගෙඩි ඉදුනු විට තැඹිලි මිශ්‍ර රතු පැහැතිය. රවුම් හැඩයක් ගනී.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 40-50 පමණ වේ. කිලෝ ග්‍රෑමයකට ගෙඩි 20 - 25 පමණ අවශ්‍ය වේ.
  • ගෙඩියක සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 4.3 - 5.0 වන අතර පළල වැඩි පැත්තෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 3.5 - 4.0 පමණද පළල අඩු පැත්තෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 3.0 - 3.5 පමණද වේ.
  • මදයෙහි ඝනකම මිලිමීටර් 8 - 9 පමණ වේ. මදය ඉතා පැණි රසය. යුෂ අධිකයි. ඉතා පහසුවෙන් මදය ගැලවේ.
  • බීජය සෙන්ටිමීටර් 2.0 - 2.5 පමණ දිගකින් හා සෙන්ටිමීටර් 1.0 - 2.0 පමණ පළලකින් යුක්තය.
  • ගෙඩියේ පිට පොත්තේ කෙදි ඉතා ළඟින් පිහිටා ඇත.
  • අස්වනු නෙලීමෙන් පසු ගෙඩිවල පැහැය දුර්වර්ණ නොවී දින 4-6 ත් පමණ කාලයක් තබාගත හැකිය.
  • වාණිජ වගාවක් සඳහා වඩා සුදුසු ප්‍රභේදය ලෙස හැඳින්විය හැකිය.

මැලයන් රතු
  • ගෙඩි ඉදුනු විට තද රතු පාටය. ඉලිප්සාකාර හැඩයක් ගනී.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 28 - 35 පමණ වන අතර කිලෝ ග්‍රෑමයට ගෙඩි 28 - 35 පමණ අවශය වේ.
  • ගෙඩියක දිග සාමාන්‍ය සෙන්ටිමීටර් 5.0 - 6.0 පමණ වේ.
  • පිට පොත්ත තරමක් තුනීව පිහිටා ඇත.
  • මදයෙහි ඝනකම මිලිමීටර් 8 - 9 පමණ වේ. මදය පැණි රසය. මධ්‍යස්ථ මට්ටමකින් යුෂ ඇත. මදය ඉතා පහසුවෙන් ගැලවේ.
  • බීජය දිගටි ඉලිප්සාකාර හැඩතිය. එහි දිග සෙන්ටිමීටර් 2.5 - 3.0 පමණද, පළල සෙන්ටිමීටර් 0.8 - 0.9 පමණද වේ.
  • මෙම ප්‍රභේදයේ හටගන්නා පුහු ගෙඩි සංඛ්‍යාව සාපේක්ෂව වැඩිය.
  • අස්වනු නෙලීමෙන් පසුව පැහැය දුර්වර්ණ නොවී දින 3ක පමණ කාලයක් තබාගත හැකිය.

මැලයන් කහ
  • ගෙඩි ඉදුනු විට කහ පැහැතිය
  • දිගටි ‍අණ්ඩාකාර හැඩයකින් යුක්තය
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 30 - 38 පමණ වේ. කිලෝ ග්‍රෑමයට ගෙඩි 25 - 33 පමණ අවශ්‍ය වේ.
  • ගෙඩියක දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4.5 - 5.0 පමණ වේ.
  • පිට පොත්තේ ඇති කෙදි තුනීව පිහිටා ඇත.
  • මදයෙහි ගනකම මිලි මීටර් 6.0 - 7.0 පමණ වේ. මදය පැණි රසය. මධ්‍යස්ථ මට්ටමකින් යුෂ සහිතය. මදය පහසුවෙන් ගැලවේ. බීජයේ දග සෙන්ටිමීටර් 2.5 - 3.0 පමණ වේ. පළල සෙන්ටිමීටර් 1.3 - 1.6 පමණ වේ.
  • මෙම වර්ගය වෙත පිටි මකුණන් හා දිඹියන් වැඩිපුර ආකර්ෂණය වේ. අස්වැන්න නෙලීමෙන් පසුව ගෙඩියේ පිට පොත්තේ පැහැය දුර්වර්ණ නොවී තබාගත හැක්කේ දිනක පමණ කාලයකි.

නිර්දේශිත නොවන ලංකාවේ පවතින වෙනත් ප්‍රභේද

ජාවා ස්පෙෂල්

  • ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පාටය.
  • මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් හා අණ්ඩාකාර හැඩයක් ගෙඩිවල ඇත.
  • මදය මි.මී. 8 - 10 පමණ ඝනකම්ය. මදය හොඳින් පැණි රසය. යුෂ සහිතය. මධ්‍යස්ථ මට්ටමකින් මදය ගැලවේ.
  • අනෙකුත් සියලු ප්‍රභේදවලට වඩා කෙඳි දිගින් වැඩිය.
  • ගෙඩි කුඩා කාලයේදී ඇඹුල් රසයෙන් තොරය. එනිසා සතුන්ගේ හානි වලට වැඩිපුර ගොදුරු වේ.
  • එකම ඉඩමේ මෙම වර්ගයේ ගස් කිහිපයකින් වගා කිරීමෙන් මෙය බොහෝ දුරට වලක්වාගත හැකිය.

ජාවා ලබුකබෝලා

  • ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පාටය
  • මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇත. වටකුරු හැඩතිය.
  • මදය ඇඹුල් පැණි රසතිය. යුෂ සහිතය. මදය හොඳින් ගැ‍ලවේ.

ජාවා සිමඩ්ජාන්
  • ගෙඩි තැඹිලි රතු පාටය
  • මධ්‍යස්ත ප්‍රමාණයේ අණ්ඩාකාර හැඩයකින් යුක්තය.
  • මදය ඇඹුල් රසයක් සහිත පැණි රසයක් ඇත. යුෂ සහිතය.
  • මධ්‍යස්ථ මට්ටමින් මදය ගැලවේ.
  • පොකුරක ගෙඩි වැඩි සංඛ්‍යාවක් හටගනී

ජාවා සිඩ්ලස්
  • ඉදුනු විට ගෙඩි තද රතු පැහැතිය.
  • ගෙඩි තරමක් කුඩාය
  • මදය මනා පැණි රසයකින් යුක්තය. යුෂ සහිතය, මදය හොඳින් ගැලවේ.
  • පිට පොත්තෙහි කෙදි තුනීව පිහිටා ඇත. කෙදි දිගින් අඩුය.
  • පොත්තෙහි ඇතුල් පැත්ත ලා රතු පාටය.
  • මෙම වර්ගයේ බීජ කුඩාය. බීජ මඟින් හටගන්නා පැළ දුර්වල නිසා ග්‍රාහක ලෙස යොදා ගැනීමට සුදුසු නැත.

ජාවා සින්ජන්ජාන්

  • ඉදුනු ගෙඩි කුණු ලේ පැහැයක් ගනී.
  • අණ්ඩාකාර හැඩතිය. ගෙඩියක දිග සෙන්ටිමීටර් 3.5 - 4.0 පමණ වේ.
  • ගෙඩියේ පිටතින් ඇති කෙදි මධ්‍යස්ථ දිගකින් යුක්තය.
  • මදය ඝනකමින් අඩුය. ඒ නිසා ගැලවීම අපහසුය.
  • මදය ඇඹුල් පැණි රසැතිය.

  • දේශගුණයමුහුදු මට්ටමේ සිට උස මීටර 450 පමණ උස්වූ ප්‍රදේශ දක්වා රඹුටන් වගාව සඳහා සුදුසුය. වර්ෂාපතනය මි.මී. 1500 - 2000 පමණ විය යුතු අතර පරිසර උෂ්නත්වය 27 - 30 පමණ සෑහේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% - 80% වූ ප්‍රදේශ රඹුටන් වගාවට හිතකර වේ.

    රඹුටන් වගාවේ මල් හටගැනීම උත්තේජනය කිරීම සඳහා සති 2 - 3 වියලි කාලගුණයක් අවශ්‍ය වේ. පෙබරවාරි සහ මාර්තු මාසවල ඇති වන වියලි තත්වයන් හේතුවෙන් රඹු‍ටන් මල්හට ගැනීම සිදු වේ. නමුත් මල් හටගන්නා කාලය තුල (පෙබරවාරි- මාර්තු) වර්ෂාව ලැබුණ‍‍හොත් මල් උත්තේජනය වීම වෙනුවට අතු හටගැනීමක් සිදු වේ. එබැවින් රඹුටන් ඵලදාව කෙරෙහි දේශගුණික සාධක සෘජුවම බලපායි.

    පස
    හොඳින් ජල වහනය වන ලෝම පස වගාව සඳහා ඉතා සුදුසුය. මෙයට අමතරව පසෙහි ගැඹුර මීටර් 2-3 පමණ මට්ටමකින් පැවතීමද වගාවේ සාර්ථකත්වයට බලපායි.
බිම් සැකසීම



පැළ අතර පරතරය මීටර් 10 x 10 හො 10 x 8 ලෙස ගෙන ක්ෂේත්‍රය සලකුණු කරන ලද ස්ථානවල සෙන්ටිමීටර් 60 x 60 x 60 (දිග, පළල, උස) වලවල් කපාගන්න. නියමිත පොහොර මිශ්‍රණය සහ කොම්පෝස්ට් යොදා වල පුරවාගන්න.

පැළ නිෂ්පාදනයවාණිජ වගාවක් සඳහා නම් වඩාත් සුදුසු වන්නේ ගුණාත්මක ඉහල අස්වැන්නක් ලබාදෙන නිර්දේශිත ප්‍රභේදයක බද්ධ පැළ සිටුවීමයි. බීජ පැළ සිටුවීම මඟින් හටගන්නා ශාකයන්හී ගෙඩිවල ගුණාත්මය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹිය නොහැකිය. එමෙන්ම එම ගස් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් පිරිමි මල් පමණක් හටගන්නා ගස් වීමටද ඉඩතිබේ. එනිසා බීජ පැළ වගා කිරීම නිර්දේශ කරනු නොලැබේ.

බද්ධ කිරීම
බද්ධ කිරීම සඳහා නිර්දේශිත ප්‍රභේදයක් තෝරා ගත යුතුය. බද්ධ කිරීමේදී ග්‍රාහක පැළ වශයෙන් යොදා ගනුයේ බීජ තවාන් කර ලබාගත් පැළ වේ. බීජ තවාන් කිරීමේදී ප්‍රමාණයෙන් විශාල කෘමි හානි හෝ රෝග වලින් තොර බීජ ලබාගැනීම අත්‍යාවශ්‍යය.

බීජ හොඳින් සෝදා කොහුබත් හෝ වැලි තවානක තවාන් කරන්න. හොඳින් ජලය සම්පාදනය කරන්න. තවානේ සති 2 පමණ වන පැළ බඳුන්වල සිටුවිය යුතුය.

බඳුන් මිශ්‍රණය කොම්පෝස්ට්, මතුපිට පස්, වැලි 1 : 1 : 1 ලෙස ගෙන හොඳින් මිශ්‍ර කරගත යුතුය. අඟල් 8 පළල අඟල් 10 උස පොලිතීන් කවරවලට මිශ්‍රණය පුරවා ගන්න. පැළ මුල් නොකැඩෙන ලෙස ප්‍රවේශමෙන් ගලවා බඳුන්වල සිටුවන්න. බීජ තවාන් නොකර කෙලින්ම බඳුන්වල සිටුවීමද කල හැකිය. පැළ බද්ධ කිරීමට සුදුසු වන්නේ පැළවල මාස 5 - 6 ක් පමණ ගතවූ පසුය. එනිසා එතෙක් පැළ හොඳින් නඩත්තු කල යුතුය. පැන්සලක තරම් මහත කඳ බද්ධ කිරීමට සුදුසු වේ.

අනුජය සඳහා යොදා ගන්නා අතු කපා ගත යුත්තේ බද්ධ කරන අවස්ථාවේදීමය. රඹුටන් සඳහා යොදා ගන්නේ පැච් බද්ධය / පැලැස්තර බද්ධයයි.

පළමුව ග්‍රාහකයේ සෙන්ටි මීටර් 15 ක පමණ ඉහලින් බද්ධ පිහිය ආධාරයෙන් පොතු කැබැල්ලක් ප්‍රවේශමෙන් ගලවා ඉවත් කරන්න. අනුජය සඳහා අංකුරයක් සහිත එම ප්‍රමාණයෙන් පොතු කැබැල්ලක් ගලවා ග්‍රාහකයේ පොත්ත ගැලවූ ස්ථානයේ තබා පොලිතීන් පටියකින් වෙලන්න.

බද්ධ කරන ලද පැළ සෙවන් තබන්න. බද්ධ කර සති 3 කින් පමණ පොලිතීන් පටි ඉවත් කරන්න. අංකුරය හොඳින් වර්ධනය වන විට පැළය ටිකෙන් ටික ආලෝකයට හුරු කරන්න. බද්ධකර මාස 3 - 4 වයස වූ පැළ (බද්ධ සන්ධියට ඉහලින් නීරෝගී කොළ 5ක් සහිත) බද්ධ අංකුරය හොඳින් පවතී නම් ග්‍රාහක කඳ බද්ධ සන්ධියේ සිට සෙන්ටිමීටර් 6 පමණ ඉහලින් ආනතව කපන්න. එවිට අංකුර වැඩීමට පටන් ගනී.

ආරුක්කු බද්ධය

ග්‍රාහකය සකසා ගැනීම - මේ සඳහා පැන්සලක තරම් මහත කඳක් සහිත ග්‍රාහක පැළයක් තෝරා ගන්න. එහි සෙන්ටිමීටර් 20 ක් පමණ ඉහළින් කඳ කපා දමන්න. පැළය ප්‍රවේශමෙන් උදුරා මුල් හා ඇලී ඇති පස් සොදන්න. දිගින් වැඩි මුල් කපා දමා මුල් වැඩීම උත්තේජනය කරන හෝමෝනයක ගිල්වා තබන්න. (රූටෝන්) ඉන්පසු තෙත කොහුබත් සහිත පොලිතීන් බඳුනක සිටුවන්න.

අනුජය සකසා ගැනීම - තෝරාගත් මව් ගසකින් කලින් සකස්කරගත් ග්‍රාහකය හොඳින් හේත්තු කරගත හැකි අත්තක් තෝරා ගන්න. මෙම අත්ත තරමක් සෘජුව වර්ධනය වී තිබීම වඩා සුදුසුය. එම අත්තේ යටි පැත්තේ සුදුසු ස්ථානයකින් එහි කාෂ්ඨිය කොටසද කැපී යන පරිදි සෙන්ටිමීටර් 5 පමණ දිග කැපුමක් යොදන්න.

ග්‍රාහක ‍කදෙහි කැපූ කෙළවර ආනතව සකස්කර එහි මුහුණත අනුජ අත්තෙහි කැපුම සමඟ හොඳින් ස්පර්ශ වන ලෙස තබා පොලිතීන් පටිවලින් වෙලන්න. එසේම ග්‍රාහක පැළය ‍සිටුවා ඇති පොලිතීන් බඳුනද අනුජ අත්තේ කැපුමට පහලින් ඇති කොටස සමඟ හොඳින් ගැට ගසන්න.

බද්ධකර මසකට පසුව යොදාගත් ග්‍රාහක පැළයේ මූල මණ්ඩලය පොලිතීන් තුලින් පරීක්ෂා කර බලන්න. එහි කිරි මුල් වර්ධනය වී තිබේනම් සති 2 කට පසුව අනුජ රිකිල්ලේ බද්ධ සන්ධියට විරුද්ධ පැත්තේ සෙන්ටිමීටර් 5 ක පමණ කුඩා කැපුමක් යොදන්න. බද්ධය සාර්ථක නම් තවත් සති 2 කින් පසුව අනුජය මව් ගසෙන් වෙන් කරන්න. මෙසේ වෙන්කරගත් පැළය බදුන්ගත කරන්න.


සෙවන සැපයීම

බද්ධ කරන ලද පැළ ස්ථීර බිමෙහි සිටුවීමේදී තද හිරු රැස් වලින් කුඩා පැළමත ඇති කරන පිලිස්සීම වැලැක්වීමට සෙවන සැපයීම ඉතා වැදගත් වේ. පොල් අතු ආධාර කරගෙන පැළයට අවශ්‍ය සෙවන ලබාදිය හැකිය.

පැළ සිටුවීම
මෝසම් වැසි ආරම්භයත් සමඟ පැළ සිටුවීම සිදු කිරීම යෝග්‍යය. මුල් වලට හානි නොවන සේ පොලිතීන් කවරය ප්‍රවේශමෙන් ඉවත්කර පස් කුට්ටිය ඉහිරී නොයන පරිදි වලෙහි මැද සිටුවන්න. පැළය අසලින් ආධාරකයක් සිටුවා පැළය එයට තබා ප්‍රවේශමෙන් ගැට ගසන්න. ක්ෂේත්‍රයේ සිටවූ මුල් කාලය තුල සෙවන සැපයීම අවශ්‍යය.

වල් පැලෑටි පාලනය
ගස් වටා මීටර් 1 ක් පමණ දුරක් ඇතුලත ඇති වල් පැලෑටි උදුලු ගෑමෙන් හෝ කැත්තක් ආධාරයෙන් මර්ධනය කළ හැකිය. වල් පැලෑටි මර්ධනය අවුරුද්දකට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්ය.

පොහොර යෙදීම


සිටුවීමට පෙර කාබනික පොහොර කි.ග්‍රෑම් 10ක් සහ ඩොලමයිට් ග්‍රෑම් 500ක් වලකට යොදා සති 2ක් පමණ තබන්න. ඉන්පසු පහත රසායනික පොහොර මිශ්‍රණ ගසේ වයස මත යෙදීමට ක්‍රියාකරන්න. නමුත් මෙම නිර්දේශය වාණිජ වගාවන් සඳහා වන අතර ගෙවත්තේ පවතින ගස් 1 - 2 සඳහා මේ ආකාරයට පොහොර යෙදීම අත්‍යාවශ්‍ය නොවේ.
පසු අස්වැන්නපොල් අතුවලින් සකසා ගත් කූඩාවලට හෝ කෙසෙල් කොළ හෝ රඹුටන් කොළ අසුරා ඒ මත රඹුටන් ඇසිරිය යුතුය. ඉන්පසු කූඩය අමු කොල අතු වලින්ම වසන්න.

තැලුනු ගෙඩි, රෝග සහිත ගෙඩි ආදිය ඉවත්කර හොඳන් තෝරාගත් ගෙඩි වෙළඳපොලට ඉදිරිපත් කල යුතුය. සිදුරු කරන ලද පොලිතීන් බෑග්වල අසුරා ශීතකරනයක තැබීමෙන් (සෙන්ට්‍රිගේට් 18) දින 6 - 7 පෙනුම වෙනස් නොවී ගබඩා කර තබාගත හැකිය.

අපනයන වෙළඳපොල සඳහා සැකසීම
ඒකාකාර ප්‍රමාණයකින් යුතු නොතැලුනු, ආවේණික පැහැයෙන් යුක්ත ගෙඩි මේ සඳහා තෝරා ගත යුතුය. මෙම ගෙඩිවල පිට පොත්ත 75% පමණ වර්ණවත් වී තිබිය යුතුය.

ප්ලාස්ටික් හෝ රිජිෆෝම් පෙට්ටි වල ප්‍රවේශමෙන් අසුරා ඉන්පසු ඒවා කාඩ්බෝඩ් හෝ ලී පෙට්ටිවල අසුරා ගත යුතුය. වාතාශ්‍රය සඳහා සිදුරු සහිත පෙට්ටි යොදාගත යුතුය.

ගෙඩි පොකුරු පිටින් අසුරන්නේ නම් පොකුරක ගෙඩි 2 - 3 පමණ විය යුතුය. මුළු පෙට්ටියේ බර කිලෝ ග්‍රෑම් 4 - 5 පමණ විය යුතුය. තනි ගෙඩි වශයෙන් අසුරන විට පෙට්ටියක බර කිලෝ ග්‍රෑම් 2 විය යුතුය.
යොදන කාලය
යොදන පොහොර ප්‍රමාණය ගසකට ග්‍රෑම්
-
යූරියා
රොක් පොස්පේට්
මියුරියේට් ඔෆ් පොටෑෂ්
කීසරයිට්
සිටුවීමට පෙර (වලකට)
120
225
100
-
පළමු වසර තුල මාස 4කට වරක්
40
75
40
-
දෙවන වසර තුල මාස 4කට වරක්
80
150
80
-
තුන්වන වසර තුල මාස 4කට වරක්
110
225
110
-
වයස අවු 4 - 7 අතර ඵල හටගන්නා ගස් සඳහා
අස්වැන්න නෙලු පසු
450
550
260
100
ප්‍රධාන මල් වාරයට පසු
150
550
260
-
අවුරුදු 8 වැඩි ඵල හටගන්නා ගස් සඳහා
අස්වැන්න නෙලු පසු
600
750
350
100
ප්‍රධාන මල් වාරයට පසු
200
750
350
-

ජලය සැපයීම


බද්ධ පැළ ක්ෂේත්‍රයේ සිටුවා පළමු අවුරුදු 2 - 3 පමණ ගතවන තෙක් වියළි කාලයන්හීද ජල සම්පාදනය කරන්න.

කප්පාදුව හා නඩත්තුව
සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට පැළයක් මනා ලෙස කප්පාදු කිරීම හා නඩත්තුව අත්‍යාවශ්‍ය වේ. පැළ කුඩා කාලයේ ග්‍රාහක කදෙන් එන රිකිලි වරින් වර ඉවත් කල යුතුය. සෑම දිශාවකටම අතු විහිදෙන සේ ගස කුඩාකල සිටම පුහුණු කල යුතුය.

රඹුටන් ගස්වල මල් පිපීම සිදුවනුයේ අතු කෙළවරෙහිය. එනිසා අතුවලට හොඳින් සූර්යාලෝකය ලැබිය යුතුය. අතු 4-5 ප්‍රතිවිරුද්ධ දිශාවනට වැඩීමට සලස්වන්න. එම අතු වලින් පාර්ශ්වික අතු වර්ධනය වන විට එකිනෙක හා ගැටෙන අතු ඉවත් කරන්න. එවිට අතු අතර තරඟකාරී බව අඩුවී හොඳින් මල් හටගැනීම සිදු වේ. ගසක් පුහුණු කිරීමෙන් හා හොඳ සැකිල්ලක් සහිතව නඩත්තු කිරීමෙන් වැඩි අස්වැන්නක් ලැබීම හා අස්වනු නෙලා ගැනීම පහසු වේ. රෝග අවම කරගත හැකි අතර පාලනයද පහසු වේ.

සෑම වසරකම අස්වැන්න නෙලාගත් පසු කප්පාදුව සිදුකරන්න. අතු කැපීමේදී ඒවා ගසට ඉතාමත් ලඟින් කපන්න. විශාල අතු කැපීමේදී ඒවා ගසට ආනතව කපන්න. කැපුම් මුහුණත කන්ඩසාන් ආලේප කිරීම මඟින් අතු දිරායාම වැලැක්විය හැක. ගසේ අතු වලින් කෙලින්ම ඉහලට වැඩෙන රිකිළි දිය රිකිළි ලෙස හඳුන්වයි. කප්පාදුවේදී දිය රිකිළි, රෝගි අතු, දුර්වල ලෙස වැඩෙන අතු, දිරාගිය අතු, බිම ගෑවෙන අතු මෙන්ම ඉතාමත් ‍ඉහළට වැඩෙන අතුද ඉවත් කල යුතුය.


හොදින් නඩත්තු කරන ලද රඹුටන් ගස්
ගස් පුනරුත්තාපනය
‍ගෙඩි නොසෑදෙන මල් රඹුටන් ගස් (පිරිමි ගස්) කුඩා ගෙඩි හටගන්නා ගස් ඇඹුල් රසැති හෝ මදය පහසුවෙන් නොගැලවෙන ගෙඩි හටගන්නා ගස් පුනරුත්ථාපනය මඟින් නැවතත් උසස් ගුණාත්මයෙන් වැඩි ඵල හටගන්නා ගස් බවට පත් කරගත හැකියි. මෙහිදී එම ගස්වල විශාල අතු කපා ඉවත් කරන්න. ඉන්පසු පො‍ළව මට්ටමේ සිට අඩි 2 - 3 කින් කඳ කපා ඉවත් කරන්න. දිලීර ආසාදන වැලැක්වීමට කැපුම් පෘෂ්ඨය මත කන්ඩසාන් ආලේප කරන්න.

ඉන්පසු කදෙන් රිකිලි මතුවීමට පටන් ගනී. ඒවායින් හොඳ රිකිලි 6 - 8 පමණ කදේ ප්‍රතිවිරුද්ධ දිශාවනට වැඩීමට සලස්වන්න. එසේ වැඩුණු රිකිලි ඇඟිල්ලක් තරම් මහත්වූ විට තෝරාගත් මව් ගසකින් ලබාගත් අංකුර යොදාගෙන පැච් බද්ධය සිදු කරන්න. මෙම අංකුර වලින් හටගන්නා ගස්වලින් වසර 3 - 4 කදී පළමුව අස්වැන්න ලබාගත හැකිය.

මේ ආකාරයට හොඳින් නඩත්තු නොකල විශාල බද්ධ ගස්ද පුනරුත්තාපනය කල හැක. ඉහත ආකාරයටම කඳ පොළව මට්ටමේ සිට අඩි 2 - 3 කින් කපා දමා කන්ඩසාන් ආලේප කරන්න. තෝරාගත් අතු 6 - 8 පමණ ප්‍රතිවිරුද්ධ දිශාවනට වැඩීමට සලස්වන්න. එසේ වැඩෙන අතු හොඳින් පුහුණු කර කප්පාදුකර මනා සැකිල්ලක් සහිතව සකසා ගැනීමෙන් අස්වනු නෙලීම පහසු වේ.

 
කද කපා ඉවත් කරන ලද ගසක් පැච් බද්ධ සිදු කිරීම

අස්වැන්න
බද්ධ රඹුටන් ගසකින් වසර 3 - 4 දී පළමු අස්වැන්න නෙලාගත හැකිය. ඉහල ආර්ථික අස්වැන්නක් ලබා ගැනීමට නම් වසර 7 - 8 ක කාලයක් ගතවේ.

පහතරට හා මැදරට තෙත් කලාපයන්හී අස්වනු ලබාගැනීම සිදුවනුයේ ජුනි - අගෝස්තු කාලය වන අතර අන්තර් කලාපයේ එය ජනවාරි මාර්තු දක්වා වේ. අස්වනු නෙලීම කාලගුණික වෙනස්වීම් මත සුළු වශයෙන් වෙනස් විය හැකිය.

හොඳින් පාලනය කරන වැඩුණු රඹුටන් ගසකින් වසරකට කිලෝ ග්‍රෑම් 200 ක පමණ (ගෙඩි 6000) අස්වැන්නක් ලබාගත හැකි වේ.

රඹුටන් අස්වනු නෙලීමට සුදුසුම අවස්ථාව වන්නේ එහි ආවේනික පැහැය ගෙඩිවල දක්නට ලැබීමේදීය. රඹුටන් කඩා තිබියදී තව දුරටත් ඉදීම සිදුනොවේ. එබැවින් රඹු‍ටන් වෙළඳපොලට යැවීමට සදුසුම අවස්ථාවේදීම අස්වනු නෙලාගත යුතුය. අස්වනු පොකුරු වශයෙන් නෙලා ගැනීම වැදගත් වනුයේ එයින් යම් කප්පාදුවක්ද වන බැවිනි. නෙලා ගන්නා පොකුරු බිම් වැටීම වැලැක්වීමට දැලක් භාවිතා කිරීම හෝ මළු වලට කඩා ගැනීම සිදු කල හැකිය. බිම සිට අස්වනු නෙලන්නේ නම් අස්වනු නෙලන උපකරණයක් භාවිතා කල හැකිය.


Comments

Popular posts from this blog

ගෝවා වගාව

කොමඩු වගාව

ගොඩ ක්‍රමය හා ගොඩ ක්‍රමයේ වාසි